Entries from April 2011 ↓

පොල් කතන්දර

“මොකද්ද තාත්තේ, එලියෙ රණ්ඩුවක්ද”
මං සරම හද හද සාලෙට ආවෙ ඇස් වල් කබ පිහ පිහ. කාලෙකට පස්සේ බොඩිමේ ඉඳන් ගෙදර ආවම නින්ද යනවා හරියට මළා හා සමානයි. මදුරුවෝ කාල කාලා තැන් තැන් වල පළු ආවත් ඇහ ඇරෙන්නෑ. අම්ම, හෝදල අව්වේ දාල කර කරල තියෙන රෙදි දාල හදල තියෙන ගෙදර ඇඳ ඒ තරමට සැපයි. හොඳ වෙලාවට නංගි වගේ මම සුදු පාට නෑ, මදුරුවො කාපු පළු පේන ගානට.
වේලාව එකොළහටත් කිට්ටුයි. උදේ හදපු තේ අම්මා ෆ්ලාස්ක් එකට දාලා. ඒකත් කෝප්පෙට දාගෙන මම ගියා බලන්න මිදුලෙ ඉඳන් අම්ම කෑගහන්නේ කාටද බලන්න. පොල් කඩන කොල්ල ඇවිත්. පොල් කඩනව කිව්වට අපේ ගදර, දෙහිවල මැද්දේ තියෙන පර්චස් තිහේ වත්තේ පොල් ගස් තුනකුයි තැඹිළි ගහකුයි තමයි තියෙන්නෙ. ඒ වුනාට ගෙඩි කැඩිල්ල පොල් ත්‍රිකෝණේ පොල් කැඩිල්ල වගේ. මට බය හිතුනේ අම්මව ඉසිපිරිතාලට ගෙනියන්න වෙයිද නැත්තම් කොල්ලව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙයිද කියල. ඒ තරම් පොල් නොකැඩුවත් රණ්ඩුව සැරට යනවනෙ.
“ඇයි අම්මෙ” මම එහෙම ඇහුවට අම්මගෙ ඇස්, කන් , නාස ඔක්කොම ගහ උඩ පොල් කඩන එකා දිහා.
“ මගෙ මල් පැල උඩට අතාරිනව එහෙම නෙවෙයි” අම්ම බිම ඉඳන් කෑ ගහනව කොල්ලට.
“ හරි! හරි! නෝන” “මම අද ඉස්සෙල්ලම පොල් කඩනව නෙවෙයි නෙ” ඌ අම්මට කෑ ගහනවා ගහ උඩ ඉඳන්.
“ මම කට කැඩෙනකන් කිව්ව, ඔය වල්ලම බිමට බාන්න කියල. පැහිලා නෑ කියන්නෙ. දැන් ඉතින් අතාරියි ගෙඩි ටිකක් බිමට. ඊට පස්සේ අනිත් ඒවා නිකම්ම වේලිලා බිමට වැටෙනව”.
“දැන් මේකා අස්ප ගානක් සල්ලි ඉල්ලනවා. ඒ මදිවට පොල් ගෙඩියකු ගන්නවා එක ගහකට. අනේ ඇත්තට අපට වෙච්ච දෙයක්. මුගේ සැර බලන්න උනානේ.”
“හා! හා! පාරට එහෙම දාන්න එපා! තියන කරදර මදිවට නඩුත් යන්න වෙයි කාගෙ හරි ඔලුවකට වැටුනොත්….”
“හරි, හරි, නොනා! මම වත්ත ඇතුලට තමයි දාන්නෙ.. “ කොල්ල කෑ ගහුවා.
පොල් ගෙඩි දෙකක්ම වැටුණේ අම්මගෙ මල් පැල වලට. එකක් මල් පොච්චියක කෑල්ලක් කඩා ගෙන ගිහිල්ල ගේ වටේ තියෙන සිමෙන්ති පෙව්මන්ට් එක දිගේ රොල් වෙලා ගියා. “මගේ ගස් වල ගෙඩි මට ඕනෙ හැටියට කඩා ගන්න බැරි හැටි.”
“ඔය කතාව අම්ම හැමදාම කියනවනෙ. ඌ විතරක්ද පොල් කඩන්නේ.”
“අනේ පුතේ, ඒ උණාට මුකුත් ඇහෙන්න කියන්න එපා ඉතින්. ඌ නෑවිත් හිටියොත් පොල් කඩනන්න එකෙක් හොයා ගන්න දැන් හරි අමාරුයි. එන අනිත් හුඟක් උන් හොරු නෙ. වත්ත ඇතුළට ගන්න බයයි. මුගේ ගානත් අඩුනෙ.”
එහෙම කියල අම්ම ගියා කොල්ලට තේ හදන්න
“ඇයි තාත්තේ, දැන් අම්ම මෙකට පණ යනකන් බැන්න නේද” “දැන් ඒ කටින්මද හොඳ කියන්නේ. ඒ ගමන තේත් දෙනවද?”
“ඔය drama එක තාම ඉවර නෑ.” ඊළඟට තැඹිළි වල්ලට bargain කෙරිල්ල. තව චුට්ටක් බලන් ඉන් කො. තාත්තා පත්තෙරෙත් අතේ තියාගෙන ” අපටත් තේ ලැබෙයිද” කියලා කුස්සියට ඇහෙන්න කෑ ගහන්නෙ අම්මව අවුස්සන්න.
තේ බීල ඉවර වෙලා අම්මයි කොල්ලයි ආයිත් පැටලිලා.
“ මම තැඹිළි ටික බා ගන්න ගෙවපු ගානටත් අතින් පාඩුනෙ ඔය ගානට ගෙඩි ටික අරන් ගියාම”. අම්ම තොරතෝංචියක් නැතිව කියෙව්වට, කොල්ල බොහොම හිතුවක්කාර විදියට උගෙ මතේම ඉන්නව. අපි වගේම එයත් අම්ම ගැන දන්නව ඇති.
“මුගෙ ගෑස් වැඩිනෙ” මම සාලෙ ඉඳන් අම්මට ඇහෙන්න එහෙම කිව්වෙ.
“ගෙඩි ටික තිබුණ කියල ඔයාලා බොනවද, මම කපල අතටම දුන්නොත් මිසක්! ඊට පස්සෙ ඔක්කොමල බෝඩින් වලට ගියාම ගෙඩි ටික නිකන්ම වේලිලා යනවා. කාර් තිබුණට හාමු මහත්තයල මේවා කඩේට ගිහින් දෙන්නෙත් නෑනෙ.” ඇනුම් පදෙන් කෑල්ලක් තාත්ත පැත්තටත් විසි වෙලා. දැන් අම්මට අපිට වැඩිය කොල්ල හොඳයි. “මම තේ හැදුවෙ නෑ ඔය දෙන්නට ගිහිල්ල තැඹිළි කපන් බොන්න. තැඹිළි ඇඟට අගුණ දෙයක් නෙවෙයි.”
මායි තාත්තයි තැඹිළි කපන්න පිළිකන්නට ගියාම, ගෙවල් දෙකකට එහා ගෙදර සිරිවර්ධන අන්කල් ගේට්ටුව ගාවට ඇවිත් කොල්ලව හොයාගෙන. එහෙත් තියෙනව පොල් ගස් දෙකක්.
“හරි මහත්තයා, මිනිත්තු පහෙන් එනව” කොල්ල වැඩේ බාර ගත්තා. අන්කල් යන්න ඉස්සෙල්ල හිමින් සැරේ අම්මගෙන් අහගත්ත කොල්ල කීයක් ගහකට ගත්තද කියල.
විනාඩි පහෙන් යනව කීවට මොකද දැන් කොල්ල මූණ හෝදනව පැල වලට වතුර දාන පයිප්පෙන්. ඊට පස්සෙ කමිසෙ ඇඳ ගත්තා.පොඩි පනාවකින් කොන්ඩෙත් පීරුවා. කොල කැල්ලක් ඇතුළෙ දාගෙන තිබුණ පව්ඩර් ටිකක් අරන් ඒකත් මූණෙ ගා ගත්ත. මටයි තාත්තටයි මේ කෝළම තෙරෙන්නෙ නෑ. “ඇයි අම්මේ, සිර්වර්ධන අන්කල් පොල් කඩන්න එන්න කියල මූව අඬගහන් යන්න ආවේ කමිසයක්වත් නැතුව, මෙයා මොකද මේ පොල් කඩන්න යන්න මේ තරම් උජරුවට ලෑස්ති වෙන්නේ, මේ එහා පැත්තට යන්න.”
අම්ම හිනා වෙනවා. “මතකද එහෙට අම්පාරෙන් වැඩට ආපු දෙමළ ළමයා. දැන් ඇහැට කනට පේන ලොකු කෙල්ලෙක්”
මටයි තාත්තටයි, දෙන්නටම හිනාව නතර කරගන්න බැරුව තැඹිළි ඉස්පොල්ලෙ ගියා.
“ඇයි! උන් ගස් බඩ ගෑවට, වැඩකාර කම් කරාට තරුණ හිත්.” අම්ම ඇස් දෙකත් ලොකු කරන් කියන්නෙ.
අම්මට තරුණ හිත් හොඳට තේරෙනවා. “අනේ! අම්මගෙ සමාජවාදේ පිට මිනිස්සුන්ට තමයි. අයිය ඔහොම පව්ඩර් දාගෙන කෙල්ලෙක් බලන්න ගියොත් අම්ම නිකන් ඉඳියි. සිය සැරයක් මතක කරයි අධ්යාමපන කටයුතු”. නංගි කුස්සියේ පඩිය උඩ වාඩි වෙලා කිව්වෙ තාත්තතයි මටයි විතරක් ඇහෙන්න.
-හිමාලි එන්. ලියනගේ-
ප.ලි.
මේ පොල් කඩන කතන්දර සහ අම්මලාගේ කතන්දර මට කිව්ව, මධූටත්, සුපුල් අයියාටත්, නේපාලිටත් , Bටත් Cටත් බොහොම පින්!

සමණළුන් අප වාගේය.

හිමිසඳ,
සමණළුන් අප වාගේය
කොයිතරම් දුර සංක්‍රමණ කරන්නෙද උන්
භාවනාවන් වාගේ
උන්ගේ පෙම් ආලිංගනය
දුර ගමනකට පසු
එකට ගුළිවී නිදනවා උන්
එකම එක වෙනසයි
පැටවුන් පියාඹන තුරු
මියැදෙන්න කැමති නෑ අපි
කොහොමහරි ඉමු
ඉඳහිටක මෙක්සිකෝවට හරි
සිරීපාදෙට හරි ගිහින් එමු.

හදවත් කැඩිල නම් විතරක්.

හදවත් කැට කැබලි එකතු කර
පෙම්වතුන්
කඳුලින් අලවා තනමින් සිටියි
(mosaic) නිර්මාණයක්
නුඹේ බිඳ වැටි ආතමය
…හදවතේ කොටස් සමගින්
එවනවද කැමතිනම් විතරක්
කැඩිල නම් විතරක්.

මා සිටින අරණ

‎.මා සිටින අරණ
ජන කීර්ණය
බොහෝ තවුසෝ වැඩ සිටිත
එකිනෙකා නොදන්නේ වුව
අප හොඳින් අප හඳුනන
නොකිළිටිම නැත
සෙවනැලිත් කරන ආදරය
පෑගුවත් තරහ නොම වෙන
සෙවනක් නොසපයන
උණුසුමට පිච්චෙන
තැනකි එය
තනිකම පියා විහිදන
හදවත් තඹර මල් සේ සුපිපෙන
සුවඳට සැවොම මත් වී
නොයෙක් ගී බැඳ ගායනා කරවන
තනිකමත් පාළුවත්
කෙස් ගහෙන් වෙන් කෙරුව
අසපුවක්මත් නොවන
අසපුවකි කදිම.

කන්ද සහ මම

ඔබ කන්දක්ය
නූතන මිත්‍යා කතාවක
දිගටම උඩට උස් වෙන
වාලාකුළ මෑත් කර හිමිහිට
මම, කන්ද නගිමින්
දෙස් දෙවොල් තියන
තැනින් තැන රැඳෙන
නැවත බිම බලන.