on Wednesday, May 18, 2011 at 2:43pm
මං වෙසක් කූඩුව ඇතුලට රිංගලා දොර වහ ගත්තා .කූඩුවෙ යට කොටුවෙ හරහට හයිකරලා තිබ්බ උණ බට පතුරෙ ගහලා තිබ්බ ඉටිපන්දම නිවලා දාලා, ඉටිපන්දමටම හේත්තු වෙලා ඇස් පියා ගත්තා. හුළං පාරෙ සැරට කූඩුව එහෙට මෙහෙට පැද්දුනා .
එක පාරට තිගැස්සිලා වගේ ඇහැරිලා බලනකොට මං ඉස්සරහින් ලොකුවට හතේ ඉලක්කමක් ඇඳලා තිබුනා. මං හිටියෙ කොටුවක් ඇතුලෙ ත්‍රිමාණ හැඩතලවලින් විනිර්මුක්තව සහ ද්විමාන අංග ලක්ෂණ වලින් යුක්තව.මගෙ කරේ පොරෝ කෙටියකුයි ලොකු පොට්ටනියකුයි තිබුනා. ඇඳගෙන හිටියෙ සරුවාලයක් වගේ එකක්. ඒකත් ටිකක් දුර්වර්ණ වෙච්චි එකක්. සාමාන්‍ය ප්‍රමාණයට වඩා පියවුරු සහ පශ්චාත් ප්‍රදේශය වුවමනාවෙන්ම ලොකුවට ඇඳලා තිබුනු ලස්සනයි කියන්න පුලුවන් තරුණියක් මගෙ අතේ එල්ලිලා හිටියා. එයා හිටියෙ සිටු කුමාරියකට ඔබින සළුපිළි සහිතව. අපි හිටියෙ මහ වනාන්තරයක් මැද්දෙන් වැටිලා තිබ්බ පොඩි අඩි පාරක් දිගේ ඇවිදගෙන යමින්. එයා වෙලාවකට හුඟක් ප්‍රීතියෙන් , වෙලාවකට තැතිගැන්මෙන් සහ වටපිට බලමින් .
අඩි පාර එන්න එන්නම පටු වෙමින් තිබුනා. මං හිතන්නෙ අපි ඒ වෙනකොටත් වනන්තරේ මැද්දෙන් හුඟ දුරක් ඇවිත් වෙන්න ඇති, සෑහෙන්න මහන්සියි, වතුර තිබහයි, කකුල් රිදෙනවා ,එකක් නෙවෙයි .ඒ මදිවට කරේ තිබ්බ පොට්ටනිය හරිම බරයි.මං ඒ පොට්ටනිය පොඩ්ඩක් බිමින් තියලා එතන තිබ්බ ගල් පොත්තක් උඩ වාඩි වුනා. එයත් මං ගාවින්ම වාඩිවුනා.එයාට ටික වෙලාවකින් නින්ද ගියා මගෙ උකුළ උඩම. ගමන් මහන්සියට වෙන්න ඇති.
මට පොට්ටනිය ලිහලා බලන්න හිතුනෙ ඔන්න ඔය වෙලාවෙ තමයි .මට අයිති දේවල් කියලා ඒකෙ තිබුනෙ මං හැමදාම අඳින ඩෙනිම් කලිසම් දෙකයි, කමිස වගේකුයි, සිගැරැට් පෙට්ටියකුයි, ලයිටරේකුයි විතරයි. සිටු කුමාරිය හුඟක් දේවල් ඒකෙ දාගෙන ඇවිත් තිබුනා. එයාගෙ කසී සළු වගයක්, පාට පාට තන පටි සහ යට සායවල් කිහිපයක්, නයිටි දෙක තුනක් ,හම පිච්චෙනවට ගාන ආලේපන සහිත ටියුබ් එකක්, පොඩි කණ්නාඩියක්, ටිෂූ කඩදාසි ටිකක්, මාරි බිස්කට් පැකට් එකක් එහෙන් මෙහෙන් වගේ මං දැක්කා.
කොහොමත් කලින් රූප රාමු ගැන මට වැඩිය අවබෝධයක් තිබුනෙ නෑ. කෝකටත් කියලා මම ඔලුව කරකෝලා ඊලඟට තිබ්බ රූප රාමුව තිබ්බ කොටුව දිහා බැලුවා. එතකොට තමයි මට හීන් දාඩිය දාන්න පටන් ගත්තෙ. සිටු කුමාරිගෙ අතේ පොඩි එකෙක් කෑගගහා අඬනවා, මං පරණ රෙදි කෑල්ලකින් පොඩි තොටිල්ලක් ගැට ගහන්න දඟලනවා. මම ඊළඟ කොටුව දිහාත් හැරිලා බැලුවා. විනාසයි. ඒකෙ තියෙන්නෙ මට නයෙක් ගහල මැරිලා වැටෙන රූප රාමුවක්. මම බිම වැටිලා කෑ ගහනවා, නයා ෂේප් එකේ උගෙ හුඹහ ඇතුළට ඇදිලා යනවා. එතනින් එහාට තියෙන කොටු ඇතුළෙ මං කොහොමටවත් ඉන්න විදිහක් නැති හින්දා එව්වා බලලා වැඩකුත් නෑ. ඒත් පල්ලෙහා හරියෙ කොටුවක් ලාවට වගේ බලන්න මං කෝමහරි හිත හදා ගත්තා .හප්පා, ඒකෙ තිබ්බෙ සිටු කුමාරිය පිස්සුවෙන් වගේ රෙදි ගලෝගෙන පාරක් දිගේ කෑගගහා දුවන දර්ශනයක්. මේකනම් කොහොමටවත්ම හරියන වැඩක් වෙන්න බෑම තමා.
මම හෙමින් කල්පනා කරන්න පටන් ගත්තා. හරි, දැන් මෙහෙමයි වෙන්න තියෙන්නෙ,අටවෙනි කොටුවට ගියොත් සිටු කුමාරිට බබෙක් හම්බවෙනවා. නවවෙනි කොටුවෙදි නයා ගහලා මාව මැරෙනවා. කෝමත් කතාවෙ අන්තිමට සිටු කුමාරිට පිස්සු හැදෙනවා. තව කොච්චර හිතුවත් මෙච්චර තමා ,තේරුමක් නෑ. වැඩි වෙලා හිත හිතා ඉන්න වෙලාවකුත් නෑ. මම තීරණයක් ගත්තා. මුලින්ම හොඳට නින්ද ගිහින් හිටපු සිටු කුමාරිගෙ නින්ද කැඩෙන් නැතිවෙන්න එයාව රෙදි පොට්ටනිය උඩින් හාන්සි කෙරෙවවා, සිගැරැට් පෙට්ටියයි ,ලයිටරෙයි හැරෙන්න මං මගේ බඩු මුකුත් පොට්ටනියෙන් ආපහු ගත්තෙ නෑ .ඊට පස්සෙ මං හිටපු රූප රාමුව වටේ හයි කරලා තිබ්බ බල්බ් ටික නිවෙන වෙලාවක් බලලා ඒවා ආපහු පත්තුවෙන්න කලින් රූප රාමුව පිටිපස්සට හයි කරලා තිබ්බ පුවක් කොටේට ගොඩ වෙලා හෙමින් සැරේ ඒක දිගේ බිමට බඩ ගා ගත්තා .
මම එතනින් මාරු වෙලා මහ පාර දිගේ ඇවිත් අතුරු පාරකට හැරුනා. කොයි පාරෙත් සෙනග. වෙසක් බලන්න යන ඈයො හැමතැනම. ඒ මදිවට ප්‍රේතයො වැහි වැහැලා. 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පොදු සමාවක් ලැබිච්ච ප්‍රේත ආත්ම රංචු පිටින්.සමහර ප්‍රේතයො බෞද්ධ කොඩි අතින් අරන් කෑ ගහනවා. නටනවා. සින්දු කියනවා. බිම පෙරළෙනවා. එකම විකාරයයි.
කෝමවුනත් එයාව අර විදිහට කැලේ මැද්දෙ තනියෙම දාලා ආපු එක ටිකෙන් ටික මගෙ ඔලුවට වද දෙන්න පටන් ගත්තා .ඇත්තටම මං ආවට පස්සෙ එයාට මොනවා වෙන්න ඇද්ද, අඩි පාර දිගේ ආපහු සිටු මැදුරට ගියා වෙන්නත් බෑ. හුඟක් වෙලාවට කැලේ අතරමං වෙන්න තිබ්බ ඉඩ කඩ බොහොම වැඩී. වැද්දෙක්ට එහෙම අහු වුනොත් ජීවිත කාලෙම කැලේ ඉන්න වෙනවා, පොට්ටනිය ඇතුලෙ කන්න දෙයක් කියලා හරි තිබ්බෙ මාරි බිස්කට් පැකට් එකක් විතරයි, ආපහු සැරයක් එතෙන්ට ගිහින් අවසාන කොටුවත් බලලම එන්න ඕනෙ කියලා මං හිතා ගත්තා .
මං ආපහු හෙමින් සැරේ එතෙන්ට ගිහින් අන්තිම කොටුව දිහාත් ඇස් කොණෙන් වගේ බැලුවා. ෂුහ්, මං දැකපු දේ ගැන මට තාමත් හිතාගන්න බෑ, පුදුමාකාරයි, එයා කැලේ අතරමං වෙලා නෑ, වැද්දෙක්ට අහුවෙලත් නෑ,පිස්සු පෙනුමක් කොහෙත්ම තිබුනෙ නෑ. ඒ වෙනුවට එයා පුදුම විදිහට නිවිලා. සන්සුන් වෙලා. කෙටියෙන්ම කීවොත් ලෝක ධාතුවෙන් සදහටම නික්මිලා..
කෝමහරි ඉතින් මං ගත්තු තීරණෙත් වැරදි නෑ, අන්තිමටම එයත් බේරුනා. මාත් බේරුනා..
(With Ruwan Bandhujeewa’s permission I have posted it here. )