Entries from April 2012 ↓

ඇත්තටම ඇත

සිනිඳු ඇතිරිළි මතක් නොකරන
හදවතට, ඇස් වලට
පාර නො අසන
ආල බස් නො දොඩන
හාදු වැසි ලබිය යුතු උන් ඇත
හාදු වැසි ලබා දෙන උන් ඇත
පිරිමැද සිතේ පොඩි තැන්
පුරවන කඳුළු ඇස් අග
නංවන සිනහා දෙතොලට
ඇත්තටම උන් ඇත
කොනිත්තා බලන්නේ මොකටද

නම් නැති

ඉඳ හිටෙක, හවස පායන
රාස්සිගේ අව්ව පාටට
නම් නැති බැඳුම් ගැන
නම් නැති හැඟුම් ඇති වෙන.
ගැඹුරු ඇස්
සිනහ ගැන්වූ
කවට බස්
සිහි වෙන
රතු වයින් මත
සිඳී යත
කියා ගත නො හැක
වත රතු වෙත…

Nostalgia

Bending her rheumatic knees
She spent hours near ‘lipa’
Made with three rocks
Cooking sweets
The yard was a pink blanket
Covered with spike like ‘pini jambu’ petals
‘Achchi’ cooked ‘kawum’
We fought for the turn on the swing
And who was to fill the cup she kept
To pour the sweet mix
I yearn for the last oil cake she made
Without a shape
Without worrying how it looked
broken into pieces among us, cousins
If my old memory is not so wrong
Almost every New Year
While we feasted like unrestrained calves
she was feverish in her bed.

සින්ඩරෙල්ලා

සින්ඩරෙල්ලා,
හිමිහිට එන්න
හිමින් යන්නට
දොලහේ කනිසම
වැදෙනවා හැම රෑම.
සේවය නිම නොවන
දිනපතා රවුමටයි ජීවිතය.
සාදයක් කුමටද
සඳ වගේ හිත
කවි පොත
අපට නම් සෑහෙන.
කුමරියක් කුමරියක් කරවන්න
වෙහෙසවීමත් අනුවණම සේ හැඟෙන
අප නිකන් මිතුරු මී රැල
එනතුරා ඔබ
මග බලන.

මානවවාදි මහත්තයා

ඒ32 පාරෙන් මන්නාරමේ ඉඳන් යාපනේ කොච්චර ගියත් මට එපා වෙන්නේ නෑ. වලේ වැටි වැටී කැඩිච්ච පාරේ දුවිලි කපාගෙන සංගුපිඩ්ඩි පාලම ළඟට ආවම, ඒ පේන් මූදේ නිල, වෑන් එක ඇතුලෙ ඉඳිද්දිම මාව සීතල වතුර එකක් දැම්මා වගේ නිවල දානවා. තැන් තැන් වල් සුදු පාට කුරුල්ලො වතුරේ හිටගෙන ඉන්නව පේන කොට මට මතක් වෙන්නේ එකොළහ වසරේ සාහිත්‍ය පොතේ නල දමයන්ති කතාවේ තිබ්බ උපමාවක්. නිල් කැටපතක් මත තැබූ පුළුන් ගුළියක් වගේ හංසයෙක් ගැන ඒකේ කියන්නේ. මේ හෙලවෙන්නැති වතුරෙ ඉන්න කුරුල්ලෝ හරියට ඒ පුළුන් ගුළියෙන් ගැලවිලා නිල් කැටපතේ රැඳුණු පුංචි කැබැලිති වෙන්න ඕනේ. හවසට හුළඟ සනීපයි. මුහුද මැද්දේන් සීරුවට ප්‍රධාන ගොඩබිමට වාහනේ පදින කොට හිතාගන්න බෑ අපි ඉන්නෙ වතුරෙද ගොඩද කියලා. ඒ හැඟීම මට වගේම පිට රැටියො, මානව හිමිකම් සංවිධානවල අය, විනෝදෙට යන අය, යුද්දෙන් මැරුණ දූ පුතුන් වෙඩි කාපු තැන් බලන්න යන උදවිය වගේම මේ පළාත් වල ඉන්න බස් එකේ නැගල එදිනෙදා වැඩට යන මිනිසුන්නටත් දැනෙනවා ඇති. ලංකාව වටේම කරක් ගැහුවත් මේ වගේ නොකිළිටි ලස්සනක් මම දැකළා නෑ.
මං දැන් මේ ඩ්‍රයිවර් රස්සාවට ඇවිත් සෑහෙන කාලයක්. අප්පොච්චි හිටියනම් මෙහෙම වෙයිද. ඒත් මම වැඩට ආව එකෙන් ගෙදර ප්‍රශ්න සෑහෙන්න විසඳුනානේ. පොත් වල තියෙන නිසාම නෙමෙයි මට පේන හැටියට දුප්පත් මිනිහෙකුට වෙන්නේ නොනැසී ඉන්න අරගලයක් කරන්න. බඩ වියතට එනකොට සදාචාරය සිහිවෙන්නෑ. වත්කමක් ඕනෙ ප්‍රශ්න විසඳන්න. ඒ හින්දනේ මං හිතුවේ ඉස්සෙල්ල ජීවත් වෙන ක්‍රමයක් හදා ගන්න. මේ කරන හැටියට විවෘත විශ්වවිද්‍යාලේ පාඨමාලාව ඉවර කරගත්තොත් ඇති. එතකොට පවුලට යුතුකම් වගේම සුදුසුකමක් ගන්න වුවමනාවත් ඉටුවෙලා.
දිග ගමන් ආවම මට තියෙන අමාරුව බුලත් විටක් කන්න බැරි වෙන එක. මං වගේ තරුණයෙක් බුලත් කන එක හරි නෑ කියල මහත්තය කියනවා. සමහර සුදු මහත්තුරුන්ට හොඳ කෝපි එකක් නැතුව ජුවල් යනව වගේ මටත් දවසට එක විටක් හරි ඕනේමයි. විට හොයන්න කඩ ගානේ ගිහින් තමයි මම මේ පැති වල මිනිස්සු එක්ක යාළු වුණේ. අපේ ගමේ ආතල, මාමල වගේමයි මුන්දැලත්. සමාන්‍ය මිනිස්සු කොහෙත් අසරණයි. මං මන්නාරමේ මිනිස්සුන්ට කැමතියි. යාපනේ අය අහංකාරයි. සිංහල මිනිස්සු වගේමයි දෙමළ මිනිස්සුත්. මිනිස්සුනේ. අම්ම බයයි මං දෙමළ කෙල්ලෙක් කර ගහයි කියල. අක්ක කියන්නේ දෙමළ කෙල්ලො කොළඹ කෙල්ලන්ට වඩා හොඳයි කියලා. කෙල්ලො කොහෙත් කෙල්ලොනේ. මිනිස්සුන්ව එහෙම ජාති, කුල,ආගම් බේද වලින් සමන්‍යකරණය කරන එක වැරදියි. පොත් පතින් තේරුම් ගත්තට, ඕවා අම්මල එක්ක කතා කරල විසඳන්න බෑ. ඒකට පිටින් එන මහත්තුරු. ජීවිතේ ගැන ප්‍රඥගොචර දේ කියනවා. ලංකාවේ මහත්තුරුත් ගමන් යද්දි ඒවා කතා කරනවා. හැබැයි මාත් එක්ක කතාවට එන්නෑ. අපේ මහත්තයා වගේ වැල් වටාරම් නැතුව මට පැහැදිලි සරල ඉංග්‍රීසියෙන් සංවාදයක් කරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට ඒකනේ ඒ අය මහත්තයගෙන් අහන්නැතුව මගෙන් දේවල් අහන්නෙ. ඒ වුණාට මං පෙන්නන්න යන්නේ නෑ. මහත්තයගේ හිත රිදුණොත්. දෙමළ මිනිස්සුන්ගෙ මානව හිමිකම් ගැන මහත්තයා කොයිතරම් වැඩ කරනවද. අරව මේවා බෙදා දෙන්න, ප්‍රශ්න සොයල බලන්න නිතරම එහෙ මෙහේ යනවා. මං ඒත් කල්පනා කරනවා මහත්තයගෙ ගමත් ඉතාම දුප්පත්, ඒත් ඇයි එහෙට මුකුත් නොකරන්නේ කියලා. මහත්තයා කියන්නේ යුද්දෙන් අවතැන් වුණා කියලා කියන පැති වලට ආධාර ගන්න ලේසියි කියල. “සමාජීය අයිතිවාසිකම් රැක දෙන්න කට්ටිය ඉන්නවා. මං කරන්නේ මූළික අවශ්‍යතාවයන් පිරිමහගන්න තියෙන අයිතිය තහවුරුකරන උපකාර ලබා දෙන එක.” මහත්තයා කිව්ව, මං නොදන්නවා වගේ ඔළුව වැනුවා. මගේ දැනුම පෙන්නලා, මේවා ගැන පුද්ගළික මතිමතය ප්‍රකාශ කිරීමෙන් මගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ අයිතිවාසිකම අත්හදා බලන්න ගියොත් රස්සාව නැති වෙයි. එතකොට ගෙදර අයගේ මුළික අයිතිවාසිකම්? මං මොළේ තියෙන හරකෙක් වෙලා.
පිටරට අයට උතුරට යන්න ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය අවශ්‍යයි කියන නීතිය තදිනම ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සෙ මේ ගමන් යන්නෙ මහත්තයි මායි විතරයි. ඒ ගමන් පාලුයි. කැලේ පැත්තට එද්දි ගෙවල් දොරවල් ඇත්තෙම නෑ. පාර අයිනේ පොඩි කඩේකින් තේ බීල ආයිත් අපි ඔහේ යනව. හිත්වල අතරම්ං වෙලා වගේ. මට පේනවා බර මල්ලක් උස්සන් යන තලෙළු උස හාදයෙක්. එයා වාහනේ නවත්තන්න කියනවා. මහත්තය නිදි නිසා අහ අහ ඉන්නැතුව මං නවත්තලා කණ්ණාඩිය පහත් කරා.
“ඉඩ තීනවනම් මටත් යන්න පුළුවන් වෙයිද? බස් එක අල්ල ගන්න.”
මහත්තයා සර්පයෙක් දැක්ක වගේ කෙළින් වුණා. “අනේ මල්ලි, අපි මේ ඉස්සරහ පරෙන් හැරෙනවා. වැඩි දුර යන්නේ නෑ.”
“මම ගෙදර යන ගමන් වෙන වැඩකට ගිහින් ට්‍රාන්ස්පොර්ට් එක මිස් වුණා. වතුර උගුරක්වත් නැතුව අව්වෙ පයින් ඇවිත් අමාරුයි.” තරුණයා හිනාවක් ඇඳ ගත්තා. මං කණ්නාඩියෙන් මහත්තයා දිහා බැලුවේ හිත වෙනස් වෙයිද කියලා. උන්දෑ මටත් ඔරවනවා. මං මගේ වතුර බෝතලේ අරන් ඒ මනුස්සයට ගන්න කිව්ව. ඒක ‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටියෙ වීරයා අරන් යන විදියේ එකක්. මට ලැබුණ තෑග්ගක්. තරුණයා මම බල කරාම ඒක ගත්තා.
“යමු! යමු!” මහත්තයා ඉක්මන් කළ නිසා මම ආයිත් වෑන් එක ස්ටාර්ට් කළා. ” ආමි කාරයෝ දාගෙන ගිහින් මගේ සංවිධානෙත් වහන්න වෙයි. තමුසෙට පිස්සුද?” මහත්තයගේ මූණේ අබ පිපිරෙන ගානයි. ගිය මාසේ මං ගෙදර යන්න හැදුවම වගේ. අක්කගේ දුව නාවන දවසේ කෙල්ලට කරාඹු දෙක මං අරන් එන බව පොරොන්දු වෙච්ච නිසයි ගමේ යන්න හැදුවේ. “බෑ! බෑ! කොහොමටත් බෑ! දඟ දාලා අමාත්‍යංශෙන් මේ මිනිස්සු යන්න අවසර ගත්තේ.” පපුව හිර කරගෙන මං හිටියේ. අන්තිමට මං එනකන් ඉඳලා අක්කගේ කරාඹු දෙක කෙල්ලට දාලා. අක්ක ලොකු වුන වෙලාවේ අප්පොච්චි අරන් දීපු ඒ අරුංගල් දෙක ජීවිතේටම කණෙන් ගැලෙව්වෙ එදා කියලා අම්ම නෝක්කාඩු කිව්වා. මං විවෘත විශ්වවිද්‍යාලෙට ගෙවන්න තිබ්බ සල්ලි ටිකෙන් මාලෙකුත් අරගෙනයි ඒ පාර ගමේ ගියේ. අක්ක ස්තූතියි නොකීවට ලොකු බත් පිඟානක් බෙදලා හමෝටම කලින් රජ්ජුරුවන්ට වගේ දෝතින්ම ළඟටම ගෙනත් දුන්න.
අද අපි හෝටලේට යනකොට රෑ වෙනවා. වෙන සංවිදාන වලිනුයි, ආණ්ඩුවේ වැඩට ඇවිත් නැවතිලා ඉන්න අයයි එක්ක වෙනදා වගේ මහත්තයට බියර් බොන්න වෙන්නෑ. කාලා ඇඳට යන්න වෙයි. පාර අයිනේ ගෑනු කෙනෙක්, තව වයස අම්මා කෙනෙකුයි කොලු පැටියෙකුයි එක්ක වාහනේට අත දානවා. “එපා! දැක්කෙ නෑ වගේ ඇරල යනවා” මහත්තයට යකා නැගලා. ඇයි දෙය්යනේ ඒ ආමි කාරයෝ නෙමේ නේ! දෙමළ මිනිස්සුනේ. ඒ මිනිස්සු නගා සිටුවන්නනේ මහත්තයා වැඩ කරන්නේ.
“හිඟන හැත්ත” මහත්තය දත්මිටි කනවා.
“ඒ ගැනි බඩ දරු අම්ම කෙනෙක්. ඉස්පිරිතාලෙට යන්න ඕනේ වෙලාද දන්නෑ” මම එකට එක කියන්න හිතුවේ තරහට.
“ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්න බෑ. මට ලෑස්තිකරගන්න වැඩ තියෙනවා”
මම කණ්නාඩියෙන් මහත්තයව විනිවිද යන බැල්මක් දැම්ම. මහත්තයගේ බැටළු හම ආයිත් එළියට අරන්. “මහීපාලට තේරෙනවනේ. පොඩි දේට වඩා වැදගත් දේට මහන්සි වුණොත් මෙයාලව සදහටම අපිට ගොඩ දාන්න පුළුවන්.” මම අවඥාවට හිනා වුණා.
කොහොඹ ගස් අස්සෙන් ඉර වැටෙන කොටම යාපනේ රත් වෙන්න ගන්නවා. බයිසිකල් වල නැගපු මිනිස්සු, ළමයි එළියට බැහැලා. බෞද්ධයෝ බස් එකේ යනකොට පන්සල් ළඟ පස්ස උස්සලා නමස්කාර කරලා තුන්සරණේ පිහිට ඉල්ලනවා වගේ මේ මිනිස්සුත් කොවිල ළඟින් යද්දි මෝටර් සයිකලේ නවත්තලා කකුල් දෙක අතර බැලන්ස් කරගෙන වැඳලා දවස පටන් ගන්න දේව පිහිට ඉල්ලනවා.“දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා. බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා. සොවින් පෙළෙන සත් සොවින් මිදෙත්වා. නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා!!” මං වාහනේ පිහින ගමන් මෛත්‍රිය වඩනවා. මහත්තය ගැන ඇති වුණ තරහත් අඩු කරගන්න ඕනේ.
කලින් වතාවේ එළුවො බෙදා දුන් ව්‍යාපෘතියේ අවුලක් විසඳන්න මහත්තයා ආවේ. රැස්වීමේදි මිනිස්සු කිව්වා බෙදා දීපු එළුච්චියො පන්සීයටම හිටියේ එක පිරිමි එළුවලු. මහත්තය ඔළුව කැසුවා විතරයි. දැන් ඉතින් මේ එලුච්චියොන්ගෙන් වැඩක් තියෙනවද. සල්ලියි, කාලයයි, බලාපොරොත්තුයි සේරම වතුරේ. මේ මිනිස්සු පවු. ඉංග්‍රීසි ඉගෙන ගත්ත වෙලේ මං දෙමළ පොඩ්ඩක් ඉගෙන ගත්තනම් මේ අහිංසක මිනිස්සුන්ට කියන්න තිබ්බා “මේ මානව හිමිකම් කාරයවත් පට්ටියට දා ගත්ත නම් එක එළුවෙක් හරි කියලා.” මහත්තයගෙ මූණට අත මිටි කරල පාරක් ගැහුවනම් මට මෛත්‍රී භාවනාව මුල ඉඳන් පටන් ගන්න තිබ්බා.