Entries from May 2012 ↓

මේ ඇඟිළි තුඩු

මේ ඇඟිළි තුඩු
කුඩා මා පුතු හිසකේ අතර
දියණිය සිලිටු අත්ලේ
ආදරේ ලියන්නටම ය
උන් කොපුල් තල
රෝස යටි පතුල් වල
සිනහ ඉරි අඳින්නටම ය
උන් වැරදි මං සොයන මොහොතක
මතක හිටිනා තරවටු කරන්නටම ය.

අද දවල් වැස්සා

අද දවල් වැස්සා
මතක් වෙනවා
හෙට අඳින සුදු ගවුම
ගෙදර ඇතුළේ වැලක වනලා
වේලාපු අපේ අම්මා.
හොඳ කුඩය මට දීලා
පෙඟුන හිස නො නවා
නාන්නනේ අද හිටියේ කොහොමත්
සිනාසෙන අම්මා
අකුණු සැරයට
අපිට වැඩියෙන් බයවුනත් මහ රෑ
එක ඇඳක අප ගාල් කරවා
කවි කිව්ව අම්මා

‘යාළුවෙක්’

ඒ තරම් ලොකු නැති දෑත
නින්ද නොයනා කෙල්ලක සතු වූ
හිත අතගාන
වෙන්වෙන්න ආසන්න කුඩා කැබිළිත්තක්
නැවත අලවන
‘යාළුවෙක්’ වැනි සරල නමකින් හැඳිනෙන.