Entries from January 2013 ↓

වගුරු බිමක

කුඩා බත් කූරු තෙම
මවයි ඉඳහිට සිහින
ඉන්නා වගුරු බිම
මලක් කොලයක් පිපෙන එක ගැන
බලය ලත් හැඩි මැඩි තෙම
වරක් නැගු විට හඬ බක බක
වැටෙයි පියඹන සිත
සුපුරුදු කසල ගොඩටම

තනිකම

අනුන්ගේ කවක් කියවා හිත අවුල් වෙන
විඳ නැති දුක්ක ජාලා
තමන්ගේ සේ කුස කලතන
මධු නැති මීත් නැති සැර මත් රෑක තනිවම
කෙනෙකුන් හිඳියි අඳුරට ඇස් දල්වගෙන.

අපචාර

මම ඔබට තෝරා ගත් සිදුවීම කිහිපයක් කියන්නෙමි. සංඛ්‍යා නොමැති ඒ දත්ත මා කියන්නේ ඉන් ඔබට වැඩක් වේ යැයි බලාපොරොත්තුවෙනි.
පළමු වැන්න මීට මාස කිහිපයකට ඉහතදී මට දැන ගැනීමට ලැබුණු ඉතා අවාසනාවන්ත සිදුවීමකි. ඒ දරුණු අපරාධයට ගොදුරු වූ දැරියන්, ඉන් අසරණව සිටිනා ගැහැණුන් තරමට ම එවැනි කරුණක් අසන්නට ලැබීම මගේත් අභාග්‍ය යැයි මට සිතේ. තමන්ගේ සුළු දියණියන්, දියණියන්, ඥාතී දියණියන් කුඩා දැරියන් ව සිටිය දී ඔවුන්ට ලිංගිකව අතවර කළ එක්තරා පිරිමියෙකු මෑත කාලයෙදී තමන්ගේ මිණිපිරියටද ඒ සාපරධය සිදු කරන බව ඔහුගේ බිරිඳ විසින් දෑසින්ම දැක ඇති බව ඒ අවාසනාවන්ත ආරංචියයි. එවේලේ බිරිඳ, දුක,පසු තැවීම, ලැජ්ජාව සහ තරහ විඳ ගනු නොහැකි තැන ඔහු හැර වැඩිහිටි දරුවෙකු හා වාසයට ගොස් තිබිණි. එය මට අදහාගත නොහැකි කාරණයකි. එවැනි දරුණු අපරාධ කරුවෙකුට එරෙහිව ගැහැණියක් විසින් ලබා දෙන දඬුවම එපමණ ද? එය ඔබට මට වචන කිහිපයකින් පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක් නොවේ. නම්බුකාර පවුළකට අයත් ගරු සැලැකිළිවලට භාජනය වන දිවියක් ගෙවූ ඇය අඩුම තරමේ පොලිසියට පැමිණිල්ලක් නොකළේ ඇයි දැයි මට නොතෙරේ. ඒ ලජ්ජාව සහ අසරණකම, හෝ තමන්ට මෙන්ම ඒ දැරිවියන් හට යුක්තිය ඉෂ්ඨ විය යුතුබව නොදන්නා කමට විය හැක. හරිහැටි ඇගෙන් නොවිමසා ඒහැසිරීම හෝ ප්‍රතිචාරය පිළිබඳව කරුණු කීමට මට හැකියාවක් නැත.

ඒ එක සිදුවීමකි. අනෙක්වා මා හා මගේ මව සබැඳි ඒවා නිසා මට ඒ ගැන නිසැක කරුණු කීමට හැකියාව ඇත. පාසල් ගොස් ගෙදර එන විට වැසි වැටුණහොත් කිසි විටෙක සෙවනක් පතා කොතැනක්ට වත් -විශේෂයෙන් කඩ පිල් වලට, නොයන ලෙස මගේ අම්මා මටත් මගේ පිරිමි සහෝදරයින්ටත් වෙනසක් නැති ව නීතියක් පණවා තිබිණ. තෙමි තෙමි ගෙදෙර එන්නැයි අපට ඈ කීවාය. නමුත් අම්මා කිසි දෙනෙක අපට තෙමී එන්නට ඉඩ නොදී කුඩයක් කිහිළි ගන්නා ගෙන බස් නැවතුවම වී වැසි දාට සිටි බව කෙසේ නම් අමතක කරන්නද. මේ නීතිය ගැන මා ඇගෙන් විමසූ විට ඈ කීවේ: වහින විට කඩයට මිනිසුන් නො එන බවත්; එහි ඇත්තේ මුදලාලි හෝ වැඩ කරන කෙනෙකුන් පමණක් බවත්; කුඩා දරුවෙකු තනිව එවැනි වේලාවක පාළු කඩය ක් තුළදී ලිංගික අපචාරයකට ගොදුරු වීමට ඉඩ ඇති බවත් ය. ඒ නිසාවෙන් තෙමි පැමිණ සෑදෙන සෙම්ප්‍රතිෂ්‍යාවට වඩා බැරෑරුම් තත්වයක් වළක්වාලීමට ඇය කටයුතු කළ බවයි.

තවත් සිදුවීමක් මෙසේය. මගේ මතකය නිවැරදි නම් ඒය සිදු වූයේ මා සා. පෙළ. පන්තියේ පමණ ඉගෙනුම ලබද්දීය. පාසලින් පසු අමතර පන්තියකට යන මගේ සහෝදරයාට බත් මුළක් රැගෙන අම්මා දිනක පාසල ඉවර වෙන වෙලාවට ගොස් තිබිණි. සියල්ලන් නිකම් ගිය පසුව ඉතා කුඩා දැරියක් තනිව පාසල් බිමේ සිටිනු දැක අම්මා ඇගෙන් ඊට හේතුව විමසා ඇත. ඈ රැගෙන යාමට නිවසින් පැමිණ යුතු අය නොවැළැක්විය හැක් හේතුවක් නිසා බොහෝ ප්‍රමාද වී ඇත. නමුත් අපේ අම්මා එතැනින් නික්ම නොගොස් දැරිය කැඳවා යාමට භාරකරුවන් එනතුරු රැඳී සිට ඇත. එසේ කිරීමට හේතුව ලෙස අම්මා කරන්නේ සරළ කුඩා පැහැදිළි කිරීමකි. “ලස්සන සුදු කෙළි පොඩිත්තියක් තනියෙම දාලා එන්නේ කොහොමද? විදුහල්පති තුමා ද, උගන්වන ගුරුවරයෙක් ද, නැත්නම් එළියේ තාප්පේ ළඟ ඉන්න ත්‍රී රෝද රථ රියදුරෙක් ද කියලා කියන්න බෑ. දරුවන්ට කරදර ඕනෑම තැනක වෙනවා.” කාගේ වත් දරුවෙකුට කරදරයක් නොවෙන්නට වග බලා ගැනුම මිනිස් සංහතියේ යුතුකම බව ඈ කියන්නීය. ඒ දැරියගේ පවුලේ අය එයින් පසු අපේ පවුලේ උන් හා ඇල්මෙන් බැඳුණු අතර අපි තවමත් එකිනෙකාට ප්‍රේම කරන්නෙමු.
සමජවිද්‍යාත්මක පරීකෂ්ණ හෝ දැනට කර ඇති විශ්ලේෂණ ඔබ ගැඹුරු ලෙස හදාරා බැලු හොත්, නැතිනම් යන්තමින් අන්තර්ජාලය තුළ සොයා බැලූවත් පහත කාරණය බොරුවක් නොවන බව පැහැදිළි වනු ඇත.
දැරියන් සේම දරුවන්ද වැඩිපුරම අපයෝජනය වන්නේ හොඳින් දන්නා පුරුදු ස්ථාන වලදීය. තමන්ගේ නිවස, පාසල, පන්තිය, පාසල් වෑන් රථය, ඥාතීන්ගේ නිවෙස ඒවායින් මුල් තැන් ගනියි. වැඩිපුරම ගොදුරු වන්නේ දන්නා කියන පුද්ගළයින්ටයි. තමන්ගේ, පියා, වැඩිහිටි ඥාතීන්, සහෝදර සහෝදරියන්, ගුරුවරුන් නිවසේ රියදුරා වැනි අය ඒ අතර ප්‍රමුඛ වේ. කුඩා දරු දැරියන්ට සිදුවෙන ලිංගික අපරාධ පිළිබඳ ලෝකයේ ඕනෑම තැනක සත්‍ය එයයි.
නරක සහ හොඳ මිනිසුන් මුහුණ බලා වෙන් නොකළ හැකි බව මගේ මව දැන් සිටියේ ඈ සතුව වෙනත් දෙමාපියන් තුළ නොමැති කිසියම් බලයක් තිබූ නිසා නොවේ. තමන් අසා දැන් ගත් සිදු වීම්, පුවත් පාඩමට ගනිමින් දැරුවන් රැකීමට ඇය අවංක උත්සාහයක් ගත් නිසා අප ආරාක්ෂා විය. අප ඉතා කුඩා කාලයේදී ඈ එවැනි නරකක් සිදු වීම වළකාලීමට සුදු යැයි සිතූ දේ කළ බව මට වැටහෙන්නේ දැන් ය. නීතිය සරණක් නොවනේ නම්, ගොදුරු නොවනා තැනට ඔවුන් රැක බලා ගැනීම ඇරෙන්නට වෙන යමක් කළ නොහැකි බව ඇය කියයි. අප බලා ගැනීමට කිසිදින තමන්ගේ දෑස ඇරෙන්නට වෙන යමක් විශ්වාස නොකළ මගේ අම්මා බුදු වන්න විවරණ ලබන්නේ එතැන දීය. නොකළ හැකි තැනක දී ඈ පිහිට පැතුවේ ඇගේ විශ්වාසවන්ත අයවලුන්ගෙන් පමණි. “දරුවෙකුට නරකක් වුණොත් අම්මෙකුට තාත්තෙකුට හිත හදා ගන්න පුළුවන්ද” මගේ අම්මා නිතර විමසීය. වැඩිහිටියන් වනතුරු දරුවන් රැකීම දෙමාපියන්ගේ යුතුකම බව ඇගේ විශ්වාසය විය.
නමුත් මා හැදී වැඩුණු කාලයට , සමාජයට වඩා ලෝකය වෙනස් වී ඇත. සමහරෙක් මවු වරුන් පියවරුන් හට දරුවන් බලා ගැනීමේ කටයුතු වෙන අයට පැවරීමට සිදු වීම වළක්වා ගත නොහැක. රැකියා නොකර දරුවන්ගේ පිටුපසින් වැටී සිටීමේ මහත් සැපත සියල්ලන්ටම හිමි නැත. තව ද බඩ වියත රකින්නට මැද පෙරදිග රැකියාවට යෑමට සිදුවන මව් පියන් හට දරුවන් දමා යනවා හැරෙන්නට වෙන මගක් නො මැත . ඒ දරුවන් වෙනුවෙන් විදිමත් වැඩපිළිවෙලක් අදටවත් ක්‍රියාත්මක වේ දැයි මම නොදනිමි. නමුත් අප රැකීමට මගේ අම්මා විසින් ගනු ලැබුනේ කුඩා , පහසු පියවර වල් නොවේ දැයි දැන් මවක් වන මට සිතේ.
පළමුව ඈ අප ඉතා කුඩා අවදියේ දීම මෙවැනි දෙ ගැන කියා දුන්නාය. ලිංගික අපචාර කිරීම මිස ඒවා ගැන කතා කර දරුවන් දැනුවත් කිරීම ලැජ්ජාවට හේතුවක් නොවන බව ඈ විශ්වාස කළාය. ලෝකය තුළ නරක මිනිසුන්ද ඇති බැවින් ඔවුන් අපරාද කරන්නේ නොමිනිස් කමට මිස ඒ අපගේ වැරැද්දැක් නොවන නිසා, අයහපත් යමක් වූ විට ඈ වෙත පැමිණ දැනුම් දෙන ලෙස ඈ කියා තිබුණාය. අප රකින්නට කෙනෙකු ඇති බවට ඈ විසින් ඇති කල විශ්වාසය බොහෝ කරදර වලින් ගැලවීමට අපට පෙර සූදනමක් ලබා දුන් බව සැක නැත. තනි නොවන ලෙස, කවුරුන් හෝ අපට කරදර කරන්නේ නම් කෑ ගසන ලෙස ඈ කියා දුන්නාය. අද දියුණු ලෝකයේ, ඕනෑම ආත්මාරක්ෂක විශේෂඥයෙකු කියන්නේ ආක්‍රමණයකදී හැකි තරම් වැරෙන් කෑ ගසන ලෙසයි. දරුවන්ට එවැනි දෑ කියා දීම අපහසු නැත. ඒ දැනුවත් කිරීම අප බොහෝ තැන් වල දී ගලවා ගත් බව මම තදින් විශ්වාස කරමි.ඈ ලබා දුන් ඒ දැනුවත් කමට ස්තූති වන්ත වෙමි.
දරුවෝ මල් වැනිය. දිනෙක ලොව සුවඳ කරනු පිණිස ඔවුන්ගේ සියුමැලි මනස නොතලා එකින් එක සුමුදු පෙති පිබිදෙන්න ඉඩ දීමට සුදුසු වාතාවරණය ලාබා දිය යුත්තේ වැඩිහිටියන්ය.
මා ඔබට කීවෙ සිදුවීම කිහිපයක් පමණි. කරන්නේ කුමක් දැයි තීරණය කිරීම ඔබට භාරය.

උවමනාකර ඇත

අම්මා උවමනාකර ඇත
තේ එකක් හදා දෙන්නට මට
තාත්තා උවමනාකර ඇත
කතාවක් හද හදා කීමට
මල්ලිලා උවමනාකර ඇත
තරහ නැතුවම රණ්ඩු කෙරුමට
එක අතක් උවමනාකර ඇත
ආදරෙන් හිස අත ගාන්නට

විඳගන්න ඉඩ නොදී…

දුක තිමිරපට බැඳ
ප්‍රේමය වසාලනු යුතු නැති
විඳගන්න ඉඩ නොදී
මේ මඟ, තැනින් තැන
කඳු ගසා නොමිලේ බෙදා දෙන
එකක් වත්
මේ දුක විසල් නොම විය යුතු
ප්‍රේමය විඳින්නට
ඉඩ දිය යුතු