Entries from November 2014 ↓

ඔය ඉසියුම් ඉරිසියාව

ජීවිතේ හැමදේම
මැරෙන තුරු නේද
දවස ගානේ මතක් වෙනකොට
ඔබේ ඔය ඉසියුම් ඉරිසියාවේ
පිපෙනවා සියළු අකුසල
සොබා සොඳුරුම
සියළු දේ ලෙස.

මලක් මුත් සුමුදු පෙති ඇති
අත ගගා ඒ
කටු ගැන ම මිමිණුවත්
ළංවී ගෙළ සිපින විට
සුසිනිඳුයි
සිතටත් වඩා පිරිමි දෙතොලත.

ජීවිතේ හැමදේම මැරෙන තුරු නේද
දවස ගානේ මතක් වෙනකොට
කැප වෙන්න
කැප වුණ කෙනෙක්
අවැසිය.

ඊ.ඒ. ඩෝසන් ප්‍රීතී නම් කතන්දරකරයා/’හකාවති’

ඊ.ඒ. ඩෝසන් ප්‍රීතී ගේ ‘හකාවති’ පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පමිණ, තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන් ප්‍රීතී රචකයාත් , මේ ලෝකයට පිටතදී ඇසු දුටු චරිත සේ මවා පා, ඒවා මේ ලෝකයේ දී අසන්නට දකිනට ලැබෙන චරිත හා ගළපා ගන්නට ඉඩ දී අපව නොමඟ යවයි.

ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්‍රීතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්න්ට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති, ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි. හකාවතියේ ජනප්‍රියම කථාව ‘මිරැන්ඩා’ වන්නේ ඇයි දැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරන්ඩා නිමවා ඇති සිනමාරූපි ගතිය මගින් ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා ඒ වූවා ද, නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විළාසය කියවන්නා අවුස්සනේ දැයි මම නොදනිමි.

හකාවතී, කතා එකතුවේ සියළුම කතා පිළිබඳව මා තුළ බොහෝ දුරට ඇත්තේ සමාන හැඟීමකි. ඒ කතා සියල්ලම එකක් අනෙක පරදවන තරමේ ප්‍රබල හෝ දුබල ලක්ෂණ නැති ඒවා ලෙස මා දකිනා නමුත්, හැම කතාවක්ම එකිනෙකින් වෙනස් වූ ඒවා මිසක නැවත නැවත එකම දේ කියා පඨකයාව පීඩාවට පත් කරවන ගතියක් ඒවායේ නැත. ඩෝසන් ප්‍රීතී මරණයත්, විද්‍යාවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත් ඔහුගේ අනෙක් නිර්මාණ නොවිඳ නිගමනයකට එළඹීම නිවැරදි නොවේ. සමහර විටෙක මේ කථා එකතුවේ ඔහුගේ කථා සැරසවීමේ උපාංගය විද්‍යාව වූවා විය හැක. මරණය කොහොමටත් කොතැනත් නොවැළක්විය හැකි කාරණාවකි.

යම් දුරකට අසාර්ථක කථාවක් ලෙස ‘විනෝදය’ මා දිකින්නේ තනිකරම රචකයා විසින් ‘ප.ලි.’ කොටස නිසාවෙනි. ඒ කිරි කළයක් දොවා ගොම බින්දුවක් දැම්මා සේය. ඩෝසන් ප්‍රීති එවැන්නක් කරන්නට ඇත්තේ ඒ කථාවේ එන ‘සුගතදාස’ නම් චරිතය අහවල් පුද්ගළයා වේ යැයි සමාජය විසින් තීරණය කිරීම නවත්වීමට විය යුතු යැයි මට හැඟේ. නමුත් ඒ බේරා ගැනීම පහලින් නොලියා කථාව තුළම ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඔහු අතින් මඟ හැරීම අපරාදයකි. නො එසේ නම් අමුතුවෙන් තේරුම් කරන්නට නොගොස්, කියවන්නාට රිසි ලෙස අර්ථය පහදාගන්න ඉඩ දෙන්නට තිබුණේ යැයි මට හැඟේ. ලේඛකයෙක් පිළිබඳ තවත් කෙනෙකු තුළ ඇති ඉරිසියා සහගත මානසික භාවය සහ අවිචාරක හැඟීම කියවන්නට දැනෙන ලෙස ලියා ඇති ඒ කථාව පාද සටහනක් නොයොදා සම්පූර්ණ කළ යුතු වූ එකකි.

නමුත් ‘ඔන්ලයින් පාංශකූල’ කථාවේ එන සටහන් දැමීම, ඉතා ඵලදායි ලෙස කථාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් වන අතර ඒ අපූරු සැලැස්ම සිත් ගන්නා සුළු එකකි. කථාවක් ලියන්නට නියමිත නිතී රිතී නැති කාලයක, ඩෝසන් ප්‍රීති, ශිල්පය එලෙස අත්හදා බැලීම පැසැසුමට ලක් කළ යුතුය.

හකාවතී තනිකරම, සමාජය පිළිබඳ සෝදිසියෙන් සිටිනා පාඨකයින් වෙනුවෙන් එවැනිම රචකයෙකු අතින් ලියැවුණ කතා එකතුවකි. ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙන ජීවත් වෙන, කිසි දිනෙක තරුවක් කඩා වැටෙණු නොදකින, වැහි බිඳුවක හැඩය නොදන්නා තරුණ පරපුරක් බිහි වී ඇතැයි ගතු කීව ද, එසේ ඇබ්බහි වීමට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ වැඩිහිටි පරපුර අපි වන්නෙමු. අපට ම අප සොයා ගත නොහැකි ලෙස තැන තැන අතරමං වී ඇති අප, ස්වභාවික උවමනාවන්, ඒවා පිරිමහන්නයි ඉල්ලා කෑ ගසද්දී, ගහල ගාලකට මුවාවී, සරණංකර පාරට හෝ අන්තර්ජාලයට ගොඩ වැදී හෝ ඒවා නිදහස් කරන්නට හැකි නම් එසේ කරණා ස්වභාවික සත්තු කොට්ටාශයක් බව හකාවති කථාවල අවංකව කියැවේ.

මානුෂික හැඟිම් සහ සම්බන්ධතා හුදෙක් ප්‍රදර්ශනය පිණිස ම හැඩ ගසා, බොන්සායි පැල සේ හීලෑ කිරීමක නිරත වන, නිතර අනෙකා දෙස පූර්ව වීශ්වයකට එළඹී සිටිය යුතු යැයි බියෙන් පසු වෙන සමජායකට ඩෝසන් ප්‍රීතිගේ හකාවතී කතා වලින් උගෙන ගත හැකි දේ බොහෝය.