There are stupid questions

I had two questions
About a flower
Name? “It’s a Lilac”
The color?
I didn’t ask.

You insist
“The next question?”
Would it bring peace to you if I asked
Or would it be just stupid or for the sake of us; our harmonic progression,
Should we discuss how flowers get color from pigments.

When the first had answered all other questions; we must stop pretending; leave room for thinking.

So, “I stood / Among them, but not of them; in a shroud /
Of thoughts which were not their thoughts.”

Then I remember that he (Lord Byron) also said:
“There are four questions of value in life, Don Octavio.
The answer to each is the same.
Only love.”

සාංකාව

මීදුම එකතු වී ඇත

පළිඟු අළු බඳුනක.

මිටි තැනිතලා

හඬයි ගංගාවල්

සාදයේ ගී වල.

උස කඳු පෙඟෙයි

ඒත් ඇස් දිළිසෙයි

සතුට දුක සැඟවීම.

හැම සති අගම

මිතුරන් සොයන්නේ ඒකයි

මිතුරන්ව.

කල්පනා

උදෑසන නොදමා උපැස් යුවල

කැඩපතේ දකින්නේ කවුරුන්ද

සදාකාලික අන්ධ මම?

තරහ බව නොකී කෙනෙකුට

ලියන්නේ කොහොමද වස් කවි

හොඳින් ඇති යැයි පතනු මිස

හැම ගහම වැසී ඇති විට

යුතු ලෙසම හිමි මල් පල තුරුළ

සහන එන පවනක මා වෙත ද?

කප කපා යට කරන තෘණ පෙති වෙනුවෙන්ද?

දැකුම තහනම් කර

වචන පමණක් නම් අනුමත

ප්‍රේමයමැයි හිත හිත ලතැවෙන්න

කාරණා ඇති ඇතිවෙන්න.

නැවැතෙමි සිතමි

යන්තම් මීදුම පාත් වෙන දවස් ඇත

පාළම උඩ; වාහනය නවත්වන්නට අවසර නොමැති තැනදිම

පහන් කණුවක එළියෙන් පෙනේ

දැන් දියවෙන්න අරගත්

ගඟේ ලස්සන.

වේගයෙන් පදවන විට- ඒ වෙලාවට

පොලිසියත් ඇති හිතමින්

ජීවිතේ ගැන.

රේඩියෝවේ ආදර ගීත තීරෙන්

බිරිඳක් ඉල්ලයි ලොවේ සොඳුරුම ගීය

කිසි දින ගතු නොකී සැමියා සිහි කරන්නට

ඊලඟ මීදුමේ රෑ මැද

නැවැතෙමි සිතමි මොහොතක

බලන්නට සිරි

වරක් පමණක්

ගලන ගඟ තුළ.

දෙහි:සුවඳ, රස සහ කටු- සවෘත රුවක් බඳු කාන්තා ආත්මය, තැනින් තැනින් සිදුරු කොට කාන්දු කරවන නිමැවුමක්

2012-04-09 13.56.20

හිමාලි ගේ ‘දෙහි’ එක හුස්මට කියැවූවෙමි. වින්දෙමි. සවෘත රූපයක් බඳු කාන්තා ආත්මය, හදවත, තැනින් තැනින් සිදුරු කොට කාන්දු වෙන්න සලසන අපූරු නිමැවුමකි ඒ. මෙය සරල රොමාන්තික ශෛලියකින් ලියැවී ඇත. නමුදු ඊට එහා ගිය සියුම් පුද්ගල චරිත නිරීක්ෂණ ඔස්සේ දිග හැරෙන මනෝභාවයන් හා දේශපාලනය අපට ඒත්තු ගැන්වෙන්න දෙන හැටි නිර්මාණශීලීත්වය මුහුවුණු මනා සංයමයකින් යුක්තය. භෞතික පරිසර තුනක් ඔස්සේ දිග හැරෙන මෙම කතාව හා එහි ඇතුළතින් දිවෙන තවත් කතා, හිමාලි මෙන්ම විදේශගතව සිටින මා හට වඩාත් සමීප අත්දැකීම් ලෙස දැණුනි.

ඇය විටෙක පිරිමියෙකු සේ කතාවේ එන පිරිමි චරිත උත්තම පුරුෂයෙන් ලිහා දමයි. එය කෙතරම් සාර්ථක උපක්‍රමයක් වී දැයි සිතෙන්නේ, ඒ ඒ චරිත හැසිරෙන ආකාරය, සිතන පතන ආකාරය තුළ කිසිම ආගන්තුක බවක් මට නොදැණුන නිසාය. 2012 දී එළි දුටු මේ කෘතිය හිමාලි ලියන්නට ඇත්තේ විදේශගතව සිටින අතරතුරදී ම යැයි මම අනුමාන කරමි. නමුත්, උපන් බිමෙන් රැගෙන ආ මතක වස්තුව ඉතා සුරැකීව තබා ගෙන අර පරිස්සමින් යොදාගෙන ලියා ඇති අයුරු මනරම්ය. මව්බිම් අතැර එන බොහෝ අයගෙන් නොදැනෙන්නට සීරුවට ගිලිහී යන ඒ මතකයන් හමුවේ, හිමාලි විදේශගතව සම්පාදනය කරන මේ කෘතිය කියවද්දී ඒ තුළ කිසිම ආගන්තුක බවක් මට නොදැණුනි. ඒ අතින් ඈ ඉතා සාර්ථක යැයි මට හැඟේ.

ඇගේ ලිවීම ගැන කියනවා නම්, මේ ලියැවිල්ල තුළ නොබියව ඈ සිය පෑන මෙහෙයවයි. සාම්ප්‍රදායික සවෘත ගැහැනියට මුළු ගැන්වෙන්න ඉඩ නොදී මුළු මනින් විවර කොට අපට පෙන්වයි. ඈ පෙළන ලජ්ජාව අතු පතු ගා දමයි. ඈ විවෘතව ලියයි. බොරු කාන්තා සුචරිතවාදය නොතකා, ඈට එල්ලවිය හැකි තර්ජන ගර්ජන නොතකා සෑම විටමම ඇත්තම ලියන්න උත්සාහ ගනියි. හිමාලිගේ ඒ නිර්භය ලක්ෂණ තුළ ඒ ඒ චරිත වල පුද්ගල ආත්මයන්ට, වඩා සාධාරණව අප හමුවේ නිරාවරණය වන්නට ඈ ඉඩ ප්‍රස්ථා සලසයි. භාෂාව ගැන කියනවා නම්, සරල වූවද ඈටම අනන්‍ය වූ ස්වරූපයකින් සුඛ නම්‍යව ගලා යයි.

‘දෙහි’ තුළ මා සිත් නොගත් තැනක් කියනවා නම්, කතාවේ අන්තිමේ යසීමා රහස් පරීක්ෂක වරියක් කිරීම සම්බන්ධව මම පෞද්ගලිකව සතුටු නැත. යසීමාට යසීමා ලෙසම ඉන්න හැරියා නම් වඩා හොඳ යැයි සිතුණි. ඊට අමතරව කියන්නට තරම් වරදක් මම නොදුටුවෙමි. ඉහත කිව්වේ මගේ ඉතාම පෞද්ගලික මතයක් නිසා ඔබට එය වීසිකර දැමිය හැක.

පොදුවේ ගත් කල මෙයට මා කැමති අතර, කතාවේ එන සියලුම චරිත වල හැසිරීම ඔවුන්ගේ නාමික සිරස්තල යටතේ වෙන වෙනම ලියා දැක්වූවද සෑම පරිච්ඡේදයකින්ම විග්‍රහ වන්නේ සුහානිවය. එනම් කතාවේ කතා නායිකාවයි. එය සාර්ථක උපක්‍රමයකි.

මේ පොත මට ඉතා සමීපව දැනෙන්න තවත් හේතුවක් වුණේ සමහර තැනක ලියා ඇති හිමාලිගේ අත්දැකීමක් ඒ අයුරින්ම මගේත් පෞද්ගලික අත්දැකීමක් ලෙස මාගේ නිර්මාණවලට යොදාගෙන තිබූ අවස්ථා තිබුණු බැවිනි. මට දැණුනු ඒ සමීප බව පෙන්වීමට පමණක් ඒ ඒ තැන් මාගේ නිර්මාණයකින් කොටසකුත් සමඟ මෙහි උපුටා දක්වමි.

උදා :

“දන්නවද ඇයි කියල හුඟක් සිංහල මිනිස්සුන්ගේ ගෙවල්වල දෙහි ගස් හදන්නේ කියල. ඒ මිනිස්සු ලෝකෙට කියාගන්න බැරි දේවල් කටු තියෙන ගස්වලට කියනවා. රෑට දකින නපුරු හීන, හිතේ තියෙන රහස්. හැම එකම පපු ඇතුළේ හිර කරන් ඉන්න අමාරු නිසා. මට කටු ගහක් වත් නෑ. ඔක්කොම ඇතුළේ ලොක් කරගෙන” ( දෙහි, 22 පිටුව )

දෙහි ගහයි මමයි

ඉස්සර නම් රෑට දකින නපුරු හීන හැම
පාන්දරම දෙහි ගහ ළඟ දිගහරිනව මම
දැන්නම් ඇඳ ළඟට එන්න කඳුළු හීන නැතුවා
බිඳුණු හිතක මල් පීදෙන කවියක් නුඹ ගෙතුවා
.
.
.
ඉස්සර මෙන් ආයෙත් දෙහි ගහ ළඟටම යන්නම්
කොළ හැලිච්ච ගහටම මං මගෙ දුක පවසන්නම්

( බඹරු එළපු දැල්, 2004, නිරාෂ ගුණසේකර, 34 පිටුව )

ඉහත සාරාංශ කළ සංකල්පය ඔස්සේම මුළු කතාවම දිග හැරෙන අතර, පොතේ නම ‘දෙහි’ වන්නේ ද ඒ අනුවය.

“ගමන යන මග ඇති තරම් සොඳුරු දේ තිබියදී ගමනාන්තයට නොඉවසිල්ලෙන් පියැඹීම පිස්සුවකි. නමුත් රමේෂ් සිතුවේ වෙනස් ආකාරයකටයි. ( දෙහි, 108 පිටුව )

දිවි මහරු සතුට

මිතුර, නුඹ බිණූවද
හැරී නොබලා වහා දිව ගොස්
ඉතා සුරැකිව ගන්න ඕනැයි
පාර අග මිණි මංජුසාවේ
දඹ රනක් වන්
දිවි මහරු සතුට…

මේ නිල්ල අතරමග හීගඩුවෙ
සීතළම දිය ඉරක
මීරිතම රොනවුලක නතර වී
කිසිදු කොළහල නැතිව
බිඳක් කල් මරන්නම්…

දුර ඈත කඳු පෙතක
හිස සිඹින නල රැළක
නුරාබර තතට කන් යොමන්නම්
නුබ සරන සියොතුනගෙ
රටා හෙවණලි මැදින් ඇදෙන්නම්…
.
.
.
පිය මිතුර, ඔබ සිතයි නම් තවම
ජීවිතේ මාවතේ
දිනිය යුතු සතුට යනු
පියෙන් පිය පසු කරන්
ගමනාන්තය කෙළක
හමුවනා දෙයක් නම්…!

( සුදු කතක් හා මධුවිතක්, 2014, නිරාෂ ගුණසේකර, 70 පිටුව )

හිමාලිට, නිර්මාණකරණයේ දිගටම යෙදෙමින් වඩාත් සාර්ථක නිර්මාණ වලින් අප හමුවට යළිත් එන්නැයි පතමින් මෙතැනින් නතරවෙමි. ජය!
නිරාෂ ගුණසේකර